ව්‍යාපාරික ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට ගෙන යාමට CA ශ්‍රී ලංකා ආයතනයෙන් භාෂා පාඨමාලා කිහිපයක්

ව්‍යාපාරික ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට ගෙන යාමට CA ශ්‍රී ලංකා ආයතනයෙන් භාෂා පාඨමාලා කිහිපයක්

ශ්‍රී ලංකා චාටඩ් ගණකාධිකාරීන්ගේ ආයතනය (CA Sri Lanka) විසින් මෙරට තරුණ ප්‍රජාවගේ සහ වෘත්තිකයන්ගේ සන්නිවේදන කුසලතා ඉහළ නැංවීම සඳහා දැවැන්ත ජාතික ව්‍යාපෘති දෙකක් ආරම්භ කර ඇත. ඒ ව්‍යාපාරික භාෂා පාසල (School of Business Languages) සහ දිවයින පුරා ක්‍රියාත්මක වන “StepUp English” සමාජ සත්කාරක (CSR) වැඩසටහනයි.

මූල්‍ය විශේෂඥයින් සහ ව්‍යාපාරික නායකයින්ට ජාත්‍යන්තර භාෂා කුසලතා සහ විදේශීය සංස්කෘතික අවබෝධය ලබාදීම අරමුණු කරගත් මෙම ව්‍යාපාරික භාෂා පාසල 2026 අගෝස්තු 17 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙහි සමාරම්භක උත්සවය සඳහා CA ශ්‍රී ලංකා සභාපති තිෂාන් සුබසිංහ, උපසභාපතිනි අනෝජි ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරිනි ලක්මාලි ප්‍රියංගිකා, ව්‍යාපාරික භාෂා පාසල් කමිටුවේ සභාපතිනි ජානි ගනේෂන් යන මහත්ම මහත්මීන් මෙන්ම ශ්‍රී ලංකාවේ චීන සමූහාණ්ඩුව නියෝජනය කරන නිලධාරීන් සහ CHEC Port City Colombo හි සහකාර කළමනාකාර අධ්‍යක්ෂිකා බායි ෂියාපින්ග් මහත්මිය ද සහභාගී වූහ.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 සහ ඊට වැඩි තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපන හා රැකියා අවස්ථා සශ්‍රීක කිරීමේ අරමුණින් නොමිලේ පැවැත්වෙන “StepUp English” ඉංග්‍රීසි භාෂා වැඩසටහන ද දිවයින පුරා ආරම්භ කර ඇත.

ව්‍යාපාරික භාෂා පාසලෙන් පිරිනමන ප්‍රධාන පාඨමාලා:

  • චීන භාෂා පාඨමාලාව: 2026 සැප්තැම්බර් මස ආරම්භ වේ.
  • ඉංග්‍රීසි භාෂා පාඨමාලාව: 2026 ඔක්තෝබර් මස ආරම්භ වේ.
  • ඉදිරියේදී පැවැත්වෙන පාඨමාලා: ව්‍යාපාරික ක්ෂේත්‍රයට අදාළ අරාබි සහ ප්‍රංශ භාෂා පාඨමාලා.

ආයතනයේ ‘Connect’ (සම්බන්ධ වීම) යන තේමාව අවධාරණය කරමින් CA ශ්‍රී ලංකා සභාපති තිෂාන් සුබසිංහ මහතා සඳහන් කළේ වෘත්තීය සාර්ථකත්වය සඳහා තාක්ෂණික දැනුම මෙන්ම ගෝලීය සන්නිවේදන කුසලතාව ද අත්‍යවශ්‍ය වන බවයි.

“තාක්ෂණික විශිෂ්ටත්වය සැමවිටම අපගේ පදනම වුවද, අපගේ දේශසීමා වලින් ඔබ්බට ඇති වෙළඳපොළවල් සහ අදහස් සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව මත අපගේ වටිනාකම තීරණය වෙනවා,” යැයි පැවසූ ඒ මහතා, “StepUp English” වැඩසටහන හරහා පරපුරට අවශ්‍ය නිවැරදි සන්නිවේදන මෙවලම් ලබාදීමට ආයතනය බැඳී සිටින බව වැඩිදුරටත් පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )