එඩින්බරෝ ප්‍රඩක්ට්ස් සමූහයේ සියලු ව්‍යාපාරික මෙහෙයුම් එකම ඩිජිටල් පද්ධතියකට

එඩින්බරෝ ප්‍රඩක්ට්ස් සමූහයේ සියලු ව්‍යාපාරික මෙහෙයුම් එකම ඩිජිටල් පද්ධතියකට

වසර 50කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකේය ආහාර නිෂ්පාදන සමාගමක් වන එඩින්බරෝ ප්‍රඩක්ට්ස් (Edinborough Products) සමූහයේ සියලු ව්‍යාපාරික මෙහෙයුම් එකම ඩිජිටල් පද්ධතියක් ඔස්සේ සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළ ඔක්තෝබර් 5 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබේ.

නිෂ්පාදන 200කට අධික සංඛ්‍යාවක් නිපදවා රටවල් 25කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරන සමූහයේ විශාලතම ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ද මෙය වේ.

මෙම වැඩපිළිවෙළ යටතේ SAP S/4HANA Cloud ප්‍රධාන පද්ධතිය සමඟ SFA නිෂ්පාදන පද්ධති, මානව සම්පත් තොරතුරු පද්ධතිය (HRIS) සහ බැංකු පද්ධති ඒකාබද්ධ කර ඇත. ඒ අනුව, සමූහයේ ව්‍යාපාරික අංශ, නිෂ්පාදන කර්මාන්තශාලා සහ විදේශීය මෙහෙයුම් එකම ඩිජිටල් පරිසරයකට සම්බන්ධ වේ.

මූල්‍ය කටයුතු, නිෂ්පාදන, මිලදී ගැනීම්, සැපයුම් දාම කළමනාකරණය, අලෙවිය හා බෙදාහැරීම, තොග පාලනය, මානව සම්පත්, භාණ්ඩාගාර කළමනාකරණය සහ බැංකු මෙහෙයුම් ඒකාබද්ධ කිරීමෙන් තොරතුරු විධිමත්ව ලබාගැනීමටත්, ක්‍රියාවලීන් ප්‍රමිතිගත කර වගවීම ශක්තිමත් කිරීමටත්, කඩිනමින් තීරණ ගැනීමටත් මෙමගින් අවස්ථාව සැලසේ.

එසේම, SAP S/4HANA Cloud සහ SFA නිෂ්පාදන පද්ධතිය ඒකාබද්ධ කිරීමෙන් නිෂ්පාදන සැලසුම්කරණය, අමුද්‍රව්‍ය භාවිතය, තොග කළමනාකරණය, තත්ත්ව පරීක්ෂාව සහ සැපයුම් දාම ක්‍රියාවලීන් ද එකිනෙක සම්බන්ධ කෙරේ.

එඩින්බරෝ ප්‍රඩක්ට්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ආර්.පී.එම්. සල්මි මහතා පැවසුවේ මෙම වැඩපිළිවෙළ සමාගමේ මෙහෙයුම් ක්‍රමවේදයේ පුළුල් වෙනසක් සනිටුහන් කරන බවයි.

“SAP S/4HANA Cloud, SFA, HRIS සහ බැංකු පද්ධති ඒකාබද්ධ කිරීම එඩින්බරෝ ප්‍රඩක්ට්ස් සමාගමට තීරණාත්මක සන්ධිස්ථානයක්. මෙය හුදෙක් තාක්ෂණික පද්ධතියක් හඳුන්වාදීමක් පමණක් නොවෙයි. අප කටයුතු කරන ආකාරය, එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කරන ආකාරය සහ වටිනාකම් නිර්මාණය කරන ආකාරය වෙනස් කරන පරිවර්තනයක්,” යැයි ඒ මහතා සඳහන් කළේය.

මෙම ඒකාබද්ධතාව මඟින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, තිරසාර වර්ධනයක් අත්පත් කරගැනීමටත්, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ව්‍යාපාර පුළුල් කිරීමටත් අවශ්‍ය පදනම සැකසෙන බව ද ඔහු පැවසීය.

සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ ව්‍යාපෘති කළමනාකරු අසංක නාරංගොඩ මහතා සඳහන් කළේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සියලු ප්‍රධාන අංශ එක් පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කළ බවයි.

“මෙම වැඩසටහන මඟින් ව්‍යාපාරයේ සියලු ප්‍රධාන අංශ එකම දැක්මක් යටතේ එක් කිරීමට හැකි වුණා. එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අපගේ සේවකයන් දැක්වූ කැපවීම, නායකත්ව කණ්ඩායමේ මඟපෙන්වීම සහ උපදේශන හා ක්‍රියාත්මක කිරීමේ හවුල්කරුවන්ගේ විශේෂඥ දැනුම විශාල දායකත්වයක් ලබා දුන්නා,” යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ සහ විදේශීය මෙහෙයුම්වල අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීමට සහාය වන දත්ත මත පදනම් වූ ඒකාබද්ධ ව්‍යාපාරික පරිසරයක් ගොඩනැඟීම ද මෙම වැඩපිළිවෙළේ එක් අරමුණකි.

ව්‍යාපෘතිය සඳහා මූල්‍ය, තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන, සැපයුම් දාම, මිලදී ගැනීම්, අලෙවි සහ මානව සම්පත් අංශවල සේවකයෝ එක්ව කටයුතු කළහ. ක්‍රියාවලි සැලසුම් කිරීම, දත්ත සකස් කිරීම, පරිශීලක පිළිගැනීමේ පරීක්ෂණ, පුහුණුව සහ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පෙර සූදානම් වීම ද ඊට ඇතුළත් විය.

ව්‍යාපෘතියේ තාක්ෂණික කළමනාකරණය, වැඩසටහන් සම්බන්ධීකරණය, පාලන ක්‍රියාවලීන් සහ අවදානම් අධීක්ෂණය සඳහා අර්න්ස්ට් ඇන්ඩ් යං (Ernst & Young) ආයතනය සහාය ලබා දුන් අතර, පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ හවුල්කරු වූයේ PBBS ආයතනයයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )