සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සවිබල ගැන්වීමට CA Sri Lanka වෙතින් ව්‍යාපෘතීන් රැසක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සවිබල ගැන්වීමට CA Sri Lanka වෙතින් ව්‍යාපෘතීන් රැසක්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා වූ බහුවිධ ව්‍යාපෘතීන් මාලාවක් පසුගිය සඳුදා දියත් කළේය.

මෙහිදී “SME ණය සුදුසුකම් ශ්‍රේණිගත කිරීමේ රාමුව” ස්ථාපිත කිරීම, “SME Connect සම්මාන උළෙල”  සහ “Entrepreneur” (ව්‍යවසායකයා) සඟරාවේ සමාරම්භක කලාපය එළිදැක්වීම සිදු කෙරිණි.

කොළඹ 7 පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී, CA Sri Lanka ආයතනය විසින් සිය ව්‍යාපෘතීන්වල දෘශ්‍ය අනන්‍යතාවය නිරූපණය කරන “SME Connect” ලාංඡනය ද නිල වශයෙන් එළිදක්වන ලදී.

මෙම මාධ්‍ය හමුව, CA Sri Lanka සභාපති ටිෂාන් සුබසිංහ, උප සභාපතිනි සහ CA SME Connect කාරක සභාවේ සභාපතිනි අනෝජි ද සිල්වා, අතිරේක සභාපති සමන් ශ්‍රීලාල්, පාලක සභාවේ සාමාජිකයන් , ප්‍රධාන විධායක නිලධාරිනී ලක්මලි ප්‍රියංගිකා සහ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මුදල් අමාත්‍යාංශයේ මුදල් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024 දෙසැම්බර් මාසයේදී කරන ලද නිල ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් CA Sri Lanka ආයතනය විසින් මෙම “SME ණය සුදුසුකම් ශ්‍රේණිගත කිරීමේ රාමුව” සකස් කරන ලදී. එමඟින් ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ගැලපෙන, ප්‍රමිතිගත මෙන්ම  ක්ෂේත්‍රය පුළුල් කළ හැකි ණය ඇගයීම් යාන්ත්‍රණයක අවශ්‍යතාවය පෙන්වා දී තිබුණි.

මෙම රාමුව ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ:

  • ණය සුදුසුකම් ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය (Creditworthiness Rating System): ණය දෙන්නන් සහ ආයෝජකයින් සඳහා ප්‍රමිතිගත ණය පැතිකඩක් සකස් කිරීමට හැකි වන පරිදි, මූල්‍ය කාර්ය සාධනය, ආයතනික පාලනය සහ මෙහෙයුම් දර්ශක මත පදනම්ව SME ව්‍යාපාර ඇගයීමට ලක් කරන ව්‍යුහගත ආකෘතිය.
  • අයදුම්පත් මාර්ගෝපදේශ (Application Guidelines): සුදුසුකම් ලැබීමේ නිර්ණායක, ලේඛන අවශ්‍යතා සහ ඇගයීම් ක්‍රියාවලිය මෙහි දක්වා ඇත.

මෙම කොටස් දෙක එක්ව මූල්‍ය ආයතන වෙත ස්ථාවර අවදානම් ඇගයීම් මෙවලමක් සපයන අතරම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය තේරුම් ගැනීමට සහ එය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීමට උපකාරී වේ. මෙම රාමුවේ පවතින නම්‍යශීලී සැලසුම නිසා සුළුපරිමාණ ව්‍යවසායකයින්ට මෙන්ම ඉහළ වර්ධන විභවයක් ඇති නව ව්‍යාපාර (start-ups) යන දෙපාර්ශවයටම මෙයින් ප්‍රතිලාභ ලැබිය හැකිය.

මෙහිදී අදහස් දැක්වූ CA Sri Lanka සභාපති ටිෂාන් සුබසිංහ මහතා ප්‍රකාශ කළේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය වුවද, විනිවිදභාවයකින් යුත් ව්‍යුහගත මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අපහසුව ඔවුන්ගේ වර්ධනය අඩාල වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

“අද දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ SME ක්ෂේත්‍රයේ අනාගතය ප්‍රතිනිර්මාණය කිරීම අරමුණු කොට සැලසුම් කර තිබෙනවා. මෙමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට තමන්ගේ මූල්‍ය විශ්වාසනීයත්වය ශක්තිමත් කර ගැනීමටත්, ප්‍රාග්ධනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කර ගැනීමටත්, ආයෝජක විශ්වාසය දිනා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. එමෙන්ම, පෞද්ගලික ව්‍යාපාරවල සිට  කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් බවට පත්වීමට අවශ්‍ය ආයතනික පාලනය සහ මූල්‍ය විනය ගොඩනැගීමට ද මෙය උපකාරී වෙනවා,” යැයි ඒ මහතා පැවසීය.

“SME Connect සම්මාන උළෙල” මඟින් සුවිශේෂී ආයතනික පාලනයක්, මූල්‍ය විනයක්, ඔරොත්තු දීමේ හැකියාවක් සහ තිරසාර වර්ධනයක් පෙන්නුම් කරන ව්‍යවසායකයින් ඇගයීමට ලක් කෙරෙන අතර, එමඟින් ක්ෂේත්‍රය පුරා වගවීම සහ වෘත්තීයභාවය පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීමට බලාපොරොත්තු වේ.

මෙහිදී අදහස් දැක්වූ අනෝජි ද සිල්වා මහත්මිය කියා සිටියේ, මෙම කාරක සභාව පිහිටුවන ලද්දේ CA Sri Lanka ආයතනය සහ SME ක්ෂේත්‍රය අතර අර්ථවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට, ඔවුන් මුහුණ දෙන දිගුකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට සහ  SME ව්‍යවසාය  ක්ෂේත්‍රය වර්ධනය සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට බවයි.

“මෙම මුලපිරීම මඟින් SME මූල්‍යකරණයේ පැවැති දිගුකාලීන හිඩැසක් පුරවනවා. ඒ වගේම ප්‍රාග්ධන වෙළෙඳපොළට පිවිසීමට ප්‍රමිතිගත මාවතක් සකස් කර දෙනවා. මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීමට අමතරව, ඉහළ විභවයක් ඇති ව්‍යවසායයන්ට ඔවුන්ගේ මූල්‍ය විශ්වාසනීයත්වය ශක්තිමත් කර ගැනීමටත්, තිරසාර ලෙස ව්‍යාපාර පුළුල් කර ගැනීමටත්, කලාපීය හා ගෝලීය වෙළෙඳපොළ තුළ විශ්වාසයෙන් යුතුව තරඟ කිරීමටත් අවස්ථාවක් ලැබෙන පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා,” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

CA Sri Lanka ආයතනය ඉදිරි මාසවලදී Capacity Building වැඩමුළු මාලාවක් පැවැත්වීමට නියමිත අතර, එහිදී මූල්‍ය කළමනාකරණය සහ ආයෝජන සූදානම පිළිබඳ ප්‍රායෝගික මාර්ගෝපදේශ සැපයීමටත්, මෙම නව රාමුව සහ එහි අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීමටත් කටයුතු කරනු ඇත.

“Entrepreneur” සඟරාව දියත් කිරීම ද මෙම වැඩසටහනේ තවත් ඉදිරි පියවරක් වන අතර, එය හුදෙක් ව්‍යුහයන් සහ සම්මානවලින් ඔබ්බට ගොස්, සැබෑ ව්‍යවසායකත්ව ගමන් මඟ පිළිබඳ අත්දැකීම් බෙදාහදා ගනිමින් SME ප්‍රජාව සමඟ වඩාත් අර්ථවත් ලෙස සම්බන්ධ වීමට වේදිකාවක් සපයනු ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )