පුළුවන් ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවෙන් අපේක්ෂා කරන්නේ රට බේරා ගැනීම පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්ලවත්ත අමරපුර මහ නිකායේ මූලස්ථානයට ඊයේ පැමිණියේය. එහිදී වික්‍රමසිංහ මහතා එම නිකායේ මහ නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී ස්වාමීන් වහන්සේ පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ. අනතුරුව මහ සංඝරත්නය සමඟ කෙටි පිරිසඳරක නිරත වූ ජනාධිපතිවරයා වත්මන් ආර්ථික , සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා පැවැත්වූහ.

පුළුවන් ශ්‍රී ලංකා මහජන රැළියක් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ඊයේ පැවැත්විණි. ඊට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා යළි අසීරු යුගයක් උදා වුවහොත් සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන් පැන යන බව සඳහන් කළේය. පුළුවන් ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවෙන් අපේක්ෂා කරනුයේ රට බේරා ගැනීම පමණි. ඉන් පිටස්තරව සිටින සියලු දෙනා අපේක්ෂා කරන්නේ ජනතාව මියගියත් දේශපාලන වාසි ලබා ගැනීම පමණක් බව ජනාධිපතිවරයා පැවසීය. එවකට ජනතාව පිළිබඳ නොසිතූ නායකයෝ අද තමන්ව ජනාධිපතිවරයා ලෙස පත්කර ගන්නැයි ජනතාව හමුවේ ඉල්ලා සිටිති. ජනතාව කරදරයට පත්වූ අවස්ථාවේදී ජනතාව සමග සිටි නායකයෙකු ඉදිරි ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමට ක්‍රියා කළ යුතුය. ඇතැම් නායකයෝ බඩු මිල අඩු කර බදු සහන ලබාදෙන බවට වේදිකාවල පොරොන්දු ලබාදෙති. නමුත් ඒ වෙනුවෙන් මුදල් උපයා ගන්නේ කෙසේදැයි රට හමුවේ ප්‍රකාශ කළ යුතුය. වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ඇති කරමින් දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනැගීම අරමුණු වී ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා , පසුගිය වසරවල විවිධ පක්ෂ නියෝජනය කළ පිරිස වර්තමානයේ දී රනිල් වික්‍රමසිංහ මහතා වටා එක් වී ඇතැයි ප්‍රකාශ කළේය. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් ජනාධිපතිවරණයේදී ජාතික ප්‍රතිපත්තිය සකස් කර එය නීතියක් බවට පත් කරමින් ජනපති සටනට ඉදිරිපත් වන එකම නායකයා වික්‍රමසිංහ මහතා බව පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )