
නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරැම් දෙයි
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මහ සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික පුජකවරු එම අවස්ථාවේදී අභිනව ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ. ජනාධිපති ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක මහතාද එම අවස්ථාවට සහභාගී විය. සිය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සදහන් කලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තම ධුරකාලය ඇතුළත උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් රට වෙනුවෙන් පාලකයෙකු තෝරාපත් කර ගැනීමයි. එහෙත් මැතිවරණයකින් පාලකයෙකු තෝරා පත්කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් නොවේ. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත් භාවය මෙන්ම නීතිවල යම් ශක්තිමත් භාවයක් අවශ්‍ය වන බව ජනාධිපතිවරයා පැවසීය. රටට ජාත්‍යන්තර වශයෙන් සහාය අවශ්‍ය වෙයි. කවර බල බෙදීමක් ලෝකය තුළ පැවතියද රටට වඩාත් වාසි සහගත ලෙස ඒ ඒ රටවල් සමග කටයුතු කරන බව දිසානායක මහතා කීවේය. ලෝකය සමග හුදකලා නොවී සාමුහිකව ඉදිරියට යායුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
රටේ මැතිවරණයකදී ,බල හුවමාරුවකදී ප්‍රජාතාන්ත්‍රික ආකාරයට එය සිදුවු ඉතිහාසයක් පවතී. කිසිදු විටක මැතිවරණයකදී සිදුවන බල හුවමාරුවක් කිසිදු නායකයෙකු ප්‍රතික්ෂේප කොට නොමැත. ඒ අනුව යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ජනවරම සුහදව පිළිගෙන ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවක් සදහා කැපවීමෙන් සහ ආදර්ශවත්ව කටයුතු කිරීම පිළිබදව බෙහෙවින් ස්තුතිවන්ත වන බව ජනාධිපතිවරයා සදහන් කළේය.
අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියන්ට වගකීමක් පවතී. එම වගකීම ඉටුකිරීමට සැමගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය. තම පාලන කාලයේදී තමාට සහාය නොදුන් සැමගේ විශ්වාසය ගොඩනගා ගැනීමට කටයුතු කරන බව ද දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
