
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධීපති ධුර අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරේ
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධීපති ධුර අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ නම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. නෙඵම් මාවත පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදි පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද පෙරවරුවේ ඒ බව නිවේදනය කළේය. හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුලු එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් එම අවස්ථාවට එක්වුහ. හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයන් අපේක්ෂකයෙකු ලෙස තරග කර මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු 2020 සිට 2022 දක්වා යෞවන හා ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ තමා කෙරෙහි විශ්වාසය තබා මෙම වගකීම භාරදීම පිළිබඳව පක්ෂ දේශපාලන මණ්ඩලයට සහ පක්ෂ නායකත්වයට ස්තුති වන බවයි. අභියෝගයට සූදානම් බවත්. පාක්ෂිකයා මෙන්ම ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාසය තබන බවත් හෙතෙම කීවේය. තරුණ පරපුර අපේක්ෂා කරන නූතන පරපුරේ බලවේගය ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ අපේක්ෂා මල්ඵල ගැන්විමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා යලි එක්වන ලෙස පක්ෂය හැරගිය අයට ඔහු ආරාධනා කළේය.
