
තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම අවභාවිත කරන බවට චෝදනා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිත කරමින් නීති විරෝධී ගිවිසුමකට එළැඹීමට තිලංග සුමතිපාල මහතා ක්‍රියා කර ඇතැයි එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එය මුළුමනින්ම නීති විරෝධීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස තිලංග සුමතිපාල මහතා ක්‍රියා කිරීම අධිකරණය මගින් අත්හිටුවා තිබේ. ඔහුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ලෙස පිළිනොගන්නා බව මැතිවරණ කොමිසම ලිඛිතව දැනුම් දී ඇත. එවැනි පසුබිමක එක්සත් ජනතා නිදහස් සන්ධාන නම භාවිත කරමින් වෙනත් පක්ෂ සමඟ ගිවිසුම් ගතවීම මුළුමනින්ම නීති විරෝධී බව අමරවීර මහතා අවධාරණය කළේය.
ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කෙරේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂ 8 කින් සමන්විතයි. එම කිසිදු පක්ෂයක් තිලංග සුමතිපාල මහතා මහලේකම් ලෙස නොපිළිගන්නා බව අමරවීර මහතා අවධාරණය කළේය.
එම පක්ෂ සියල්ල එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ලෙස ක්‍රියා කිරීමට තමාට ලිඛිතව අවසර දී ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
