
රටේ තරුණ පිරිස නාමල් රාජපක්ෂ වටා එක්වනු ඇති
තම මතවාද පසෙකලා මාතෘ භූමිය හා පක්ෂය දිනවීමට යළි එක්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයෙන් වෙන්වී ගිය මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා කරයි. පසුගිය කාලයේ මෙන් එකාවන්ව වැඩ කළ හැකි බව පෙන්වා දෙන ඒ මහතා ඒ වෙනුවෙන් පක්ෂයට යළි එක්වන්නැයි එම පිරිසට ඇරයුම් කළේය.
පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවැති ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණයේ අනිවාර්ය ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් සිටියි.
තමා දේශපාලනයට පැමිණි වසර 50 කට අධික කාලයක් ගතවන බව සිහිපත් කළ රාජපක්ෂ මහතා තම දේශපාලන අත්දැකීම් අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ඉහළ ජයග්‍රහණයක් ලබාගත හැකි බව සඳහන් කළේය. තම අපේක්ෂකයා ඉතා ප්‍රබල බැවින් පක්ෂයෙන් ඉවත්වී ගිය පිරිසට යළි පැමිණෙන්නැයි ඔහු ආරාධනා කළේය. පොදුජන පෙරමුණට ආදරය කරන ජනතාව නාමල් රාජපක්ෂ මහතා පිළිගනු ඇතැයි ඔහුගේ විශ්වාසයයි. රටේ තරුණ පිරිස ඔහු සමග ගමන් කිරීමට සූදානමින් සිටියි. අරගලකරුවන් ඉල්ලා සිටියේ තරුණ නායකත්වයක් බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
