
ජ්‍යෙෂ්ඨ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
මෙරට ජ්‍යෙෂ්ඨතම නිවේදිකාවක් වු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වුවාය. මිය යනවිට ඇය 80 හැවිරිදි වියේ පසුවුවාය. 1962 වසරේ ජුලි පලමුවැනිදා සහාය නිවේදිකාවක් ලෙස ගුවන් විදුලියට එක්වු ඇය වෙළෙඳ සේවයේ සම්බන්ධතා මැදිරි නිවේදිකාවක් ලෙස ක්‍රියා කළාය. ඇය නිවේදන කටයුතු කළ පිබිදෙන ගායක පරපුර , ෆොරැන්ස් වාසනා හත, ඕවල්ටීන් පැනපොඩි , සිනමා ප්‍රවර්ධන වැඩසටහන් සහ රේඩියෝ සගරාව එකල වඩාත් ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වසර ගණනාවක් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඇය එක්වුවාය. ඒ වෙනුවෙන් සම්මාන රාශියක් ද දිනා තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම රුපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකාව වු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ජාතික රුපවාහිනිය මෙන්ම ස්වාධින රුපවාහිනිය ආරම්භයේදී ද එහි පලමු ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ක්‍රියාකර තිබේ.
ලාංකේය රුපවාහිනි ඉතිහාසයේ පලමු ස්ථිර වැඩසටහන් නිෂ්පාදිකාව ද ඇය විය. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ උම් අල් ක්වේන් ප්‍රාන්තයේ ප්‍රථම සිංහල ගුවන් විදුලි නාලිකාවේ මෙරට නිවේදිකාව ලෙසින් ඇය වසර පහක් සේවය කළාය. ඇයගේ දේහය හෙට කොළඹ 07 ටොරින්ටන් උද්‍යානයේ නිවසේ තැන්පත් කර තැබෙන අතර දේහය ලබන සෙනසුරාදා පෙරුවරුවේ මහජන ගෞරවය සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබේ.
