
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීම පඩි පාලක සභාවේ දී සම්මතයි.
වතු සේවකයන්ගේ දෛනික වැටුප් රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය පඩි පාලක සභාවේ දී ඊයේ සම්මත විය. ඒ අනුව මූලික වැටුප ලෙස රුපියල් 1350 ක්ද පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාවක් ලෙස රුපියල් 350 ක්ද ඔවුන්ට ගෙවීමට නියමිතය. වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක් පැවති අතර යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. වැටුප් වැඩි කිරීමට පක්ෂව ඡන්ද 14 ක් ලැබුණු අතර ඊට විරෝධය පළ කළේ වතු සමාගම් 3 ක් පමණි. වතු හාම්පුතුන්ගේ සංගමය හා කම්කරු කොමසාරිස්වයා ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු එම අවස්ථාවට එක්ව සිටියහ. වැටුප් ප්‍රශ්නයට අමතරව වතු ජනතාවට තමන් ජීවත් වන පර්චස් 8 ක නිවසේ උරුමය හිමිකර දීමටත් , ජීවත් වන නිවාස ආශ්‍රිත ප්‍රදේශය ගම්මානයක් බවට පත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකගත්වය පළ කර තිබේ. විශ්‍රාමික වතු කම්කරුවන්ටත් නිවාස හිමිකම සැපයීමට හා වතුවල ජීවත් වන තරුණ තරුණියන් 2300 කට ගුරු සහායක පත්වීම් පිරිනැමීමටත් එකගත්වය පළ කර ඇති අතර ඊට අදාල ඇමති මණ්ඩල පත්‍රිකාව නිකුත් කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
වතු ජනතාවගේ වැටුප් , ඉඩම් හා රැකියා සිහිනය යථාර්තයක් බවට පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලංකා වතු කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහාය දෙන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා කියයි. කළගුණ සැලකීමක් ලෙස ලක්ෂ 17 ක් වන වතු ජනතාව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වන බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේය.
මේ අතර ඇමති ජීවන් තොණ්ඩමාන් මහතා පවසන්නේ දීර්ඝ කාලයක් තිස්සේ වතු කම්කරුවන් මුහුණ දුන් වැටුප් ගැටළුව තවදුරටත් උග්‍ර කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගත් උත්සාහය අසාර්ථක වී ඔවුන්ගේ වැටුප් සිහිනය සැබෑවක් වූ බවයි. එම ගැටළුව සාර්ථකව විසඳීමට මැදිහත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට සමස්ත වතු ජනතාව වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බව ඔහු සඳහන් කරයි.
