
මෙරට සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට හවුල් වන්නැයි ඉල්ලීමක්
ශ්‍රි ලංකාවේ ආයෝජනය කරමින් මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ශක්තිමත් හවුල්කරුවෙකු වන්නැයි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සෞදි අරාබියෙන් ඉල්ලීමක් කරයි. හම්බන්තොට තාක්ෂණ උද්‍යානය, ඇඟලුම් සහ ඖෂධ කලාප මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා අවස්ථා ඇති බව ඇමතිවරයා කියා සිටි. මඩකලපුව, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය උද්‍යානයේ මේ සඳහා ඉඩකඩ තිබේ. සෞදි අරාබි ජාතික දිනය නිමිත්තෙන් ඉකුත්දා පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කළේය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සෞදි අරාබිය අඛන්ඩව ශ්‍රි ලංකාවට දෙන සහායද ඇමතිවරයාගේ ඇගයීමට ලක්විය. ජලය, බලශක්තිය, සෞඛ්‍යය, මාර්ග සහ අධ්‍යාපන ව්‍යාපෘති වෙනුවෙන් සෞදි අරමුදල 1981 සිට අරමුදල් සපයයි. ඒ සම්බන්ධයෙන්ද ඇමතිවරයා සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රි ලාංකිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදිමට සෞදි අරාබිය ක්‍රියා කර තිබේ. දැනට එරට සිටින සේවකයෝ සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවති. සෞදි අරාබියටද ශ්‍රි ලංකාවට වීසා රහිතව පැමිණිමේ අවස්ථාව සලසා තිබේ. එම පහසුකම මාස හයක් සඳහා වලංගුය. සෞදි ජනතාවටද මෙරටට පැමිණ ශ්‍රි ලංකාවේ පෞරාණික ඉතිහාසය, සංස්කෘතිය, ස්වභාව සෞන්දර්ය අත්විඳිය හැකි බව විජිත හේරත් මහතා මෙහිදී කීවේය.
