ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මිලියනයක් අවතැන්
ඊශ්‍රායල හමුදාව ලෙබනනයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී. ඊයේ සිදු කළ ප්‍රහාරවලින් ලෙබනන් වැසියන් 50 දෙනෙකු පමණ මියගිය බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ගෙවුනු සති කිහිපයේ ප්‍රහාරවලින් මේ වනවිට දහසකට ආසන්න පිරිසක් මියගොස් තිබේ.
මේ නිසා මිලියනයකට වැඩි ජනතාව අවතැන් වී සිටින බව ලෙබනන් අගමැති නජීබ් මිකාටි සඳහන් කළේය.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් 20 දෙනෙකු පමණ ඉකුත් දින කිහිපයේදී මිය ගියේය.
එහි ඉහලම නායකයා වූ හසන් නසරල්ලා මිය යාමෙන් පසු පත් වූ නායක හසන් ඛලීල් ද එය භාර ගෙන ස්වල්ප වේලාවකින් මිය ගියේය.
හිස්බුල්ලා නායකයා ඝාතනය කිරීමට සෘජුව අණ දී ඇත්තේ ඊශ්‍රායල අගමැතිවරයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට හමාස් සංවිධානය මෙන්ම හිස්බුල්ලා සංවිධානය ද ක්‍රමිකව අර්ධ වශයෙන් අඩපණ කිරීමට ඊශ්‍රායලය සමත් වී තිබේ.
මේ නිසා ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ ආරක්ෂාව දැඩි කිරීමට ඉරානය පියවර ගෙන ඇත.
මේ අතරවාරයේ ඊශ්‍රායල් හමුදාව ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටී.
ඊට ප්‍රතිචාර ලෙස ලෙබනන් රජය පවසා ඇත්තේ තම රට බංකොලොත් රාජ්‍යයක් බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඊශ්‍රායලය සමග සාම ගිවිසුමකට එළැඹීමට තම රජය සුදානම් බවයි. එහිදී ඊශ්‍රායලය පවසා ඇත්තේ උතුරු ඊශ්‍රායලය වෙත එල්ල කරන හිස්බුල්ලා ප්‍රහාර නවත්වන්නේ නැති නම් ගොඩබිම් ප්‍රහාරයක් ආරම්භ කරන බවයි.
ප්‍රහාර අත්හිටුවීම සඳහා ලෙබනන් රජය සහ හිස්බුල්ලා සංවිධානය අතර සාකච්ඡා දැන් ආරම්භ වී තිබේ.
මේ වනවිටත් ඊශ්‍රායල් හමුදාව ලෙබනන් දේශසීමාව වෙත ළගා වෙමින් ස්ථාන ගතවී ඇත.
හිස්බුල්ලා නායකත්ව මණ්ඩලය අඩපණ වී ඇති බැවින් ඔවුන් මේ අවස්ථාවේ පසු බැසීමේ හැකියාවක් තිබෙන බව වාර්තා වෙයි. ඉරානය විසින් කලාපීය ගැටුමක් මතු කරනු ඇද්දැයි ගැටළුවට යුද විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ එවැනි තත්ත්වයක් ඇති නොවන බවයි.
ඊට හේතුව වන්නේ වත්මන් ඉරාන ජනාධිපතිවරයා මධ්‍යස්ථ පුද්ගලයෙකු වීමත් ඉරාන රජය තුල කණ්ඩායම් 2 ක් ගොඩනැගී තිබීමත්ය.
